Thursday, April 14, 2016

උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,

..තවත් දවසක්.

" සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"

මගේ මිත්‍රයෙක් මගෙන් අහනව

ඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..

මගේ මිතුරා මගෙන් "උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?" කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.

සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ! උපන්දිනය .....!

අලුත් දවසක් උදා වෙලා, තවත් දවසක් ගෙවී ගිහින්.. අවුරුද්දක් උදා වෙලා.. තවත් අවුරුද්දක් ගෙවී ගිහින්.

හැමෝම තම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු නවත්තලා, තමාගේ රාජකාරී කටයුතු නවත්තලා සමරන්න සූදානම,

කාලය ගත වීම..!

මේ සැමරීම් තුළ ආගමික හෝ සංස්කෘතික වටිනාකමක් තියෙනව කියල කියවෙනව. එකඟයි. ඒ ගැන විවාදයක් නැහැ.නමුත්, මේ සියල්ලෙන් එළියට ඇවිත් පිටස්තරයෙක් විදියට මේ නාඩගම දිහා බැලුවොත් මොන විදියට පෙනෙයිද?

සමරන එක සාධාරණයි, කාලය ගත වීම නෙමේ. කෙනෙක්ගේ ජීවිතයක මොකක් හරි අරමුණක් ලඟා කර ගන්න එක, කෙනෙක් යම් ඉලක්කයක් ජයගන්න එක, රටක් විදියට යම් ජයග්‍රහණයක් ලබන එක.

මේ සැමරුම් අපේ සංස්කෘතියට විතරක් ආවේණික නැහැ. නමුත් මඳකට නැවතිල හිතල බලමු.

මිනිසුන් පොදියක් එකතු වෙලා කිසිම සාධාරණ හේතුවක් නැතුව සමරනවා, සතුටු වෙනවා. පිටස්තරයෙකු විදිහට මේවගේ සැමරීම් බලාගෙන ඉන්නකොට පේන්නේ සමරන්න දෙයක් නැති ජීවිත ගෙවන මිනිස්සු සතුටු වෙන්න නිසාම බොරුවට හේතු හදා ගැනීමක් වගේ.

තමාගේ දරුවන්, දෙමාපියන්, මිතුරන් එක්ක එකට කාලය ගත කරන්න බැරි මිනිස්සු ඔවුනොවුන් හා එකතුවන්නට ව්‍යාජ හේතු හදාගෙන වගේ. අපේ ප්‍රියයන් හමුවෙන්න, ඔවුන් සමඟ එකට හිඳ කා බී හිනැහෙන්න අපට අවුරුද්දේ එක දවසක් එනකම් බලන් ඉන්න වෙලා නම් ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිත වල හිස් බව නොවේද? අප අපේම ජීවිත වල අතරමං වෙලා බව නොවේද?

අපි ජීවත් වීම පහසු කරගන්න කියල ලඟා කරගන්න හදන ඒ ඉලක්ක වලට, ලබා ගන්න හදන ඒ දේවල් වලට අපේ මුලු ජීවිතම කැප කරලා. අපිට අපේ ජීවිතේ විඳින්න නම් කිසිම තේරුමක් නැති සමාජය සම්මත කරගත්ත දිනයන් උදාවෙනකන් ඇඟිලි ගනින්න වෙලා.

අපි සතුටු වෙන්න කලින් දින නියම කරගන්න ඕනේ තත්වෙක ඉන්නේ, අපි ගමේ ඉන්න දෙමාපියන් බලන්න යන්න සමාජයේ සම්මත කරගත්ත දිනයක් එනකන් අවුරුද්දක් තිස්සේ බලන් ඉන්නවා, දුර පලාත් වල රැකියා වලට ගිය පියවරු තමාගේ දරුවන් බලන්න මේ දිනය උදාවෙනකන් ඇඟිලි ගැනගැන ඉන්නවා...

අපි අපේ ජීවිත වලම හිරකාරයෝ වෙලාද?

තවත් පැත්තකින්, සමාජය විසින් කලින් නියම කරන දිනයක සතුටු වෙන එක හරියට අනිවාර්‍යයෙන් කල යුතු වගකීමක් වගේ වෙලා. හැමෝම කරන නිසා කරන්න ඕන දෙයක් බවට පත් වෙලා.. දින නියම කරගෙන සතුටු වෙන එක !

ඒක නිකන් හරියට මිනිස්සුන්ට සතුටු වෙන්න ඕනෙ වෙලාවයි සතුටු නොවී තමාගේ අධික ලෙස කාර්‍ය බහුල වෙලා තියෙන ජීවිත වල හිරවෙලා ඉන්න ඕනෙ වෙලාවයි තුන්වන පාර්ශවයක් විසින් නියම කරල දීල වගේ.

නව වසරක උදාව, උපන්දිනය.. මේ සියල්ලම පොදි බැඳගෙන සමරන එකෙන් අඩු වැඩි වශයෙන් පෙන්වන්නේ හැඟීම් දැනීම් ඇති ජීවීන් වන අපි යාන්ත්‍රික සමාජ ක්‍රමයක කොටස් කාරයන් වෙලා තියෙන බවද?

තව මාස කීපයකින් එන මගේ උපන්දිනය මට මතක් වෙනවා

"මම මෙලොවට බිහි වෙච්චි කාලය අවුරුද්දකින් වැඩි වෙලා.. මම මේ ලෝකයේ ඉන්න තියෙන කාලය අවුරුද්දකින් අඩු වෙලා.. දැන් මම මේක සමරන්න ඕන. මම මේ ලෝකයට ඉපදිලා නිශ්චිත දවස් ගානක් ගිහින්.. දැන් මම ඒක ගැන සතුටු වෙලා සමරන්න ඕන.. එහෙමද?"

එහෙම සමරන එක සාමාන්‍යයයි. සමරන්නෙ නැති එක අසාමාන්‍යයි. එහෙමද?

කොටසක් තමාගේ සතුට කියන අත්දැකීම ගන්න මේවගේ දිනයන් එනකන් බලාගෙන ඉන්න අතරේම තවත් කොටසක් මේ දිනයන් සැමරිය යුතු නිසාම සමරන්න පෙළඹිලා. කොටින්ම අවුරුදු, නත්තල් වගේ අවස්ථා ලෝකෙට ණය වෙලා සමරන මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද?

'අහවල් දවසේ, අහවල් වෙලාවේ, අහවල් විදිහට උඹ සතුටු වෙන්න ඕනේ.. ෆන් ගන්න ඕනේ..මේ දේ කරන්න ඕනේ' කියලා කවුරු හරි කිව්ව පලියට, නියමයක් තිබ්බ පලියට එහෙම කරන්න අපි ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ වරුද, හැඟීම් දැනීම් තියෙන පණ ඇති මිනිසුන්ද?

අවංකව හිතද්දි අලුත් අවුරුදු සැමරුම්, උපන්දින සැමරුම් ගැන හිතෙන්නේ එහෙමයි.

ඒත් කෙනෙක් අවංක සිතින් අවංකව සුභ පැතුමක් එක් කලාම මම කියන මනුස්සයාගෙ හිතේ තියෙන මේ අවංක සිතිවිලි ටික මෙහෙමම කියල දාන එක නරුම වැඩක් ! ඒකෙ දෙකක් නැහැ..

මට මතක් වෙනව මගේ යාලුවගේ ප්‍රශ්නය

"සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"

හොඳ හිතින් දෙන හොඳ ප්‍රාර්ථනාවකට හොඳ හිතින් ප්‍රතිචාරයක් දෙන එක මනුස්සකමක්..

"ඔව් මචන්.. මම සිංහල අලුත් අවුරුද්ද සමරනවා"

මම ඔහුට කියනවා. එහෙනම්..මගේ මිතුරාට විතරක් නෙමේ..

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන ඔක්කෝටම..

සුභ අලුත් අවුරුද්දක් වේවා !

2 comments:

  1. එසේම වේවා..කියපු දේවල් ටිකක් නැවතිලා හිතන්න ශඕන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...