Saturday, April 16, 2016

සවනි මගේ මං සවනිගෙ

ඉස්කෝලෙ යන කාලෙ මෝඩ වැඩ නොකරපු කවුරු හරි ඉන්නවද?

ඉස්කෝලේ යන කාලේ තමා අතින් වෙච්චි වැරැද්දක්, කරපු ගොං කමක් අල්ලගෙන මුලු පන්තියම.. මුළු සෙක්ෂන් එකම.. මුළු ඉස්කෝලෙම මාස ගාණක්, අවුරුදු ගාණක්, මුලු පාසල් කාලයෙදීම තමාට නමක් දාලා බයිට් කලා නම්.. කාඩ් එකක් වැදුන නම්.. අන්තිමට තමාව අනිත් අය හඳුනාගන්නා අනන්‍යතාවය විදියට කාඩ් එක පාසල් ජීවිතය පුරාම භාවිත වුනා නම්..

පොඩි කාලේ මුළු ඉස්කෝලෙම ඉස්සරහා වේදිකාව උඩදි තමාව කකුල පැටලිලා වැටුන එක..පහ-හය වසරේදී පන්තියේදී චූ ගිය එක.. එහා පන්තියේ කොල්ලෙක් එක්ක ගේම ඉල්ලලා අන්තිමට කෙල්ලො ඉස්සරහ අම්බානට ගුටි කාපු එක..

තමා අතින් වෙච්චි ඒ වැරැද්ද.. තමා කල ඒ ගොං කම.. හැමෝගෙම බයිට් එක වුනා නම්.. ඒ කාලෙ තිබ්බ තමාගේ ඒ පුංචි මානසිකත්වයට ඒක කොහොම බලපායිද? තමාගේ චරිතය ගොඬනැඟෙන්න හැමෝගෙන්ම චාටර් වෙන එක, බයිට් වෙන එක, තමාට වඩා ලොකු පන්ති වල අයියලා ගෙන් බුලි වෙන එක.. කොහොම බලපායිද?

අපි හැමෝටම වගේම මේ ලියන මටත් තිබ්බා එහෙම අතීතයක්..

මං ඉස්කෝලෙ යන කාලෙ/ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් ටිකෙ කරපු වැඩ.. සමහර ඒව කොච්චර පිස්සු වැඩ වුනත් සුන්දර මතකයන්.. ඒවගේම තමා සමහර ඒවා මතක් වෙද්දිත් ලැජ්ජයි..

කාලෙන් කාලෙට මටත් තිබ්බා එක එක අමාරු.. හැම කොල්ලෙක්ට වගේම. කාලයක් Backstreet Boys  බෝයිස් පිස්සුවක්.. ඒ කාලෙ කලේ ටීවී එකේ රිමෝර්ට් එක මයික් එක වගේ තියාගෙන අරුන්ගේ සින්දුවක් දාලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් උන්ගෙ සින්දු වලට කටහොලව හොලව නටන එක.. ඒ අටේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ මයිකල් ජැක්සන් පිස්සුව.. ජැක්සන්ගෙ මූන් වෝක් එක,සයිඩ් ග්ලයිඩ් එක.. පුරුදු වුනා පුක ඉරාගෙන.. ඊටත් පස්සෙ ක්‍රිකට් පිස්සුව..

තවත් කාලයක් තිබ්බා අමුතුම පිස්සුවක් හැදුන.. ඒ අවුරුදු 18-19 විතර වෙද්දි. නාහෙට අහන්නෙ නැති වයස.. මට මතකයි ඒ කාලෙ මම එළියට බහින්නෙ ඩෙනිම ගහල, තද රතු පාට ටීෂර්ට් එක ඇඳලා යට කරල, කිලෝ දෙකක් විතර බර බෙල්ට් එකක් දාලා, කොණ්ඩේ ස්පයික් කරලා.. (දැන් වගේ නෙමේ, එකින් එක ස්පයික් කරන්නෙ.. පැය කාලක් විතර යනව කොණ්ඩෙ හදන්නම).. අතේ ඇඟිලි හය හතකට මුදු දාලා..

මට මතක් වෙනවා මුලින්ම මගෙ හිත ගිය කෙල්ලට මං ලියල දුන්න ලියුම.. පෙර කරපු පිනක් නිසාද මංද කෙල්ල බෑ කියල ලියුම ගත්තෙ නෑ.. ඒ ලියුම කියෙව්ව නම්.. ඒ තරම්ම බොළඳයි.. අද වෙනකල් ඒ ලියුමෙ තිබ්බ දේවල් දන්නෙ මම විතරයි..

ඇයි දැන් මම මේ ඔක්කොම කියන්නෙ? කියන්නෙ මේනිසයි.. මේ හැමෝම.. දැන් බුකියෙ ඉන්න අවුරුදු 20-40 වයස් සීමාවේ ඔක්කොටමල්ලා ඔය වගේ ගොං වැඩ කරල ඇති.. හැමෝගෙන්ම තමන් හංගන් ඉන්න.. එහෙම නැත්තන් ළඟම යාලුවො දෙතුන් දෙනෙක් විතර දන්න... සමහර රහස් කාටවත් කියන්න එපා කියල යාලුවන්ට නොවැඳ වැඳපු අවස්ථා එහෙම ඇති.. අපි හැමෝටම

ඒත්, වාසනාවට හරි අවාසනාවට හරි.. ඒ කාලෙ අපිට තිබ්බෙ නෑ කැමරා ෆෝන්.. ස්මාර්ට් ෆෝන්.. අයි පෑඩ්.. ලැපක් කියල එකක් දැකලවත් තිබ්බෙ නෑ මයෙ හිතේ..

පොඩ්ඩක් හිතන්න.. අපිට ඒ කාලෙ.. කැමර ෆෝන් එකක් තිබිලා අපි ඔය කරපු ගොං වැඩ.. දැන් අපි හැමෝගෙන්ම හංගගෙන රහස් විදියට රකින ඒ පිස්සු වැඩ.. අපේම යාලුවෙක් අතින් හරි.. අපේම අතින් හරි රෙකෝර්ඩ් වෙලා තිබ්බ නම්... ඉන්ටර්නෙට් එකේ වයිරල් ගියා නම්..

තත්පරයක් අරගෙන හිතන්න..

මං මේ දවස් වල දකිනවා පොඩි උන්.. කැප් දාගෙන.. මාල දාගෙන (ඒව මාල නෙමේ, දම්වැල්).. රැප් කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. කෙල්ලන්ට ලව් කරනවා... ස්ටේටස් දානවා..

ඒව දකිද්දි මට මතක් වෙන්නේ මටත් එහෙම කාලයක් තිබ්බ කියල .. මටත් තිබ්බ නම් කැමරා ෆෝන් එකක්... කොණ්ඩේ ස්පයික් කරගෙන පිස්සු කෙලපු මම මගෙ ෆොටෝ එකක් අරගෙන ෆේස් බුක් නොදා ඉඳියිද? මම පිස්සුවෙන් වගේ ලව් කරපු කෙල්ල (අර මට තුන් පාරක්ම බෑ කියපු කෙල්ල.. ඒකි තමා) ගැන කියල ෆේස් බුක් එකේ බොළඳ ස්ටේටස් නොදා ඉඳියිද? ඒකි බෑ කියපු වෙලේ අඬන ස්ටේටස් එකක් නොදා ඉඳියිද මගෙම අඬන මූණ තියෙන ෆොටෝවක් එක්ක...? කවුද දන්නේ? ඒ කාලෙ කල ගොංකම් හැටියට.. එහෙම නැත්නම්..අර කෙල්ලට ලියපු ලියුම කොහෙන් හරි ලීක් වෙලා යාලුවෙක් ඒක ෆොටෝ ගහල ෆේස් බුක් දැම්ම නම්..ඊට හොඳයි වහ කාල මැරෙන එක..

හැමෝටම ඔය වගේ අත්දැකීම් ඇති.. දැන් ආයෙම එන්න වර්තමානයට.. දැන් ඉන්න පොඩින් උනුත් අපි වගේම තමා.. ගොං වැඩ කරනවා.. ලොකු උන් වෙන්න හදනවා.. පොරවල් වෙන්න හදනවා.. උන් හිතන් ඉන්නෙ ලෝකෙට ලොක්කො උන් කියල.. ඉක්මනට කොල්ලෙක් වෙන්න/පොරක් වෙන්න/තදයෙක් වෙන්න පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ. ඉතින් උන් එහෙම වෙන්නය කියල තියන දේවල් කරනවා..

වැඩිහිටියො වෙලා ඉන්න අපි දැන් මොකක්ද කරන්නෙ?.. අර ඉස්කෝලෙ ඒලෙවල් උන් පොඩි එකෙක් කරපු ගොං වැඩක් අල්ලගෙන.. ඌව ඉන්ටර්වල් එකේදි අල්ලගෙන බයිට් කරන සෙට් එකක් වගේ සයිබරය පුරා පොඩි උන්ව බයිට් කරනව..

ඒකෙන් පොඩි එකාට වෙන බලපෑම.. ඌට ඉස්කෝලෙදි, පන්තියෙදි, ටියුෂන් ක්ලාස් එකේදි වදින කාර්ඩ්, ඇති වෙන ලැජ්ජාව.. ඒ අහිංසක පොඩි එකා සයිබරයෙදි බයිට් වෙන හැටි.. සැබෑ ජීවිතේදි බුලි වෙන හැටි.. අපිට සත පහකට වැඩක් නෑ..

අපිට ඕන එක දෙයයි.. අපේ ආතල් එක..

කමක් නෑ මචන්.. උඹලා උඹලගෙ ආතල් එක ගනිල්ලා.

ඒත් එකක් මතක තියා ගනින්, උඹලටත් ඔහොම කාලයක් තිබ්බ. උඹලත් පිස්සු කෙළිය.. ගොංකම් කලා.. ඒත් එකම දේ.. දැන් කාලෙ පොඩි උන්ට වගේ උඹලගෙ අතේ කැමරා ෆෝන් තිබ්බෙ නෑ

එහෙම තිබ්බ නම් සමහර විට.. දැන් උඹල පොඩි උන් බයිට් කරනව වගේ..සමාජයක් ඉදිරියේ, උඹල බයිට් උනා නම්.. අද උඹල වෙනස්ම විදියේ මිනිස්සු වෙලා නතරවෙන්න තිබ්බා. ඒ කටුක අත්දැකීමත් එක්ක..

උඹලට ලෝකෙ තියෙන හැම දේම නරකයි.. ඒත් උඹලට ආතල් එකක් හම්බෙනව නම්.. ඕන බලු වැඩක් හොඳයි උඹලට..

පොඩ්ඩක් තමාගෙ අතීතයට ගිහින්, දැන් උඹල බයිට් කරන අහිංසක පොඩි එවුන්ගේ ඇහෙන් ලෝකය දිහා බලහන්..

එතනදි සමහර විට, උඹලට උඹලවම හම්බවෙයි !

4 comments:

  1. මිනිස්සුන්ගේ යාලුවන්ගේ ගොන් ආතල් බලන්ට බැරි හින්දම ෆේස් බුක් එක කැන්සේල් කරල දැම්ම. උබේ පොස්ට් කියවලම මගේ බ්ලොග් එක ආයේ ලියන්ට හිතුන බන්.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි මචන්. උඹෙ බ්ලොග් එකේ ලින්ක් එක දාහන්, මමත් එන්නම් ඒ පැත්තෙ.

      Delete
  2. අනේද කියන්නේ. ඒ කාලේ එව්වා නම්... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නේද?

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...