Friday, January 26, 2018

වැඳීම - ජාතියක නිවට බවේ සංකේතය





නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා 'වැඳීම' කියල කියන්නෙ.

සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ.

අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු කරනවා. එවැනි අවස්ථා වල අහල පහල තවත් වැඩිහිටියන් ඉන්නවා නම් ඒ වැඩිහිටියන් ඉදිරියේද කුඩා දරුවන් වැඳ වැටීම සාමාන්‍ය දෙයක්.

සමහර පවුල් වල දරුවන් දිනපතා පාසල් යන්න පිටත් වෙන්න පෙර සිය මාපියන්ට දණගසා වැඳ පිටත් වෙන බව බණ්ඩා දැකලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පාසලේදී පවා දරුවන්ට මේ චාරිත්‍රය දිරිමත් කරන්නේ පාසලේ ඉන්නා ගුරුවරුන්ට වැඳීමට සිසුසිසුවියන්ට පුරුදු පුහුණු කිරීමෙනුයි.

මේ විදියට වෙනත් කෙනෙකු ඉදිරියේ වැඳ වැටෙන එක සාමාන්‍යයකරණය වෙච්චි සමාජයක ජීවත් වෙන දරුවන් තම දෙමාපියන්, ගුරුවරුන්ගෙන් නොනැවතී තෑගි ප්‍රදානෝත්සවය වලදී තෑගි පිරිනැමීමට එන මැතිඇමතිවරුන් ඉදිරියේ පවා වැඳ වැටෙනවා. තමන්ට යම් යම් උපකාර කිරීමට ඉදිරිපත් වන පොහොසතුන්, ප්‍රභූවරුන් ඉදිරියේ වැඳ වැටෙනවා.

මීට මාස කිහිපයකට පෙර මේ හැසිරීමේ උච්ඡතම අවස්ථාවක් විදියට බණ්ඩා දැක්කේ ගායන තරඟයක් ලෙස පැවැත්වෙන රියැලිටි ටීවී වැඩසටහනකදී වයස විස්සේ විසිපහේ තරුණ තරුණියන් තමන්ගේ ගායන කුසලතාවය විනිශ්චය කරන්නට ඉන්නා ගායක ගායිකාවන් ඉදිරියේ වැඳ වැටීමේ සිද්ධියකුයි.

"අනේ මට මෙච්චර දේවල් කියල දීලා මේ තරඟයේ මෙච්චර දුරක් එන්න උදව් කරපු අහවල් සර්ට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පිං..."

මේ හැසිරීම් සියල්ල සමාජයක් විදියට අපි පිළිගන්නා 'හොඳ' යයි සම්මත හැසිරීම් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕන නැහැ.

බණ්ඩාට ඉන්නවා අවුරුදු දොළහක විතර නෑදෑ දියණියක්.

කලින් කිව්වා වගේ සිංහල අලුත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සව වලදී විතරක් නෙමේ, නෑදෑ හිතවතුන් එක් රැස් වන අවස්ථාවන් වල එකිනෙකාට සමුදීමේදී වයසින් අඩු අය වයසින් වැඩි අයට වැඳීම සිදු කෙරෙනවා. ඒ වගේ වෙලාවට කිසිවෙකුට වඳින්නේ නැතුව ශේප් න්‍යාය අනුගමනය කරමින් ඉන්න බණ්ඩාට වැඩ වරදින්නේ මේ කුඩා දියණිය නිසයි..

"අම්මේ අම්මේ.. බාප්පා එයාට වඳින්න දෙන්නෑ. එපාම කියනවා"

බණ්ඩාගේ වැඩිහිටි නෑදෑයන්ට අනුව බණ්ඩා කරන්නේ අර කුඩා දරුවාට 'හොඳ ළමයෙකු' වීමට තියෙන අවස්ථාව නැති කිරීමක්.

"කරුණාකරලා මේ ළමයා හදාගන්න දෙන්න. ඔය පොඩ්ඩක් වැන්දා කියල මොකද වෙන්නේ?"

බණ්ඩාගේ වැඩිහිටියන් බණ්ඩාට දොස් තියන්නේ ඒ විදියට.

යම් පිරිස් ඉදිරියේ වැඳ වැටීම 'හොඳ' බවේ ලක්ෂණයක්ය කියන එක අපේ සමාජයේ තියෙන සම්මතයක්. වෙන කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්නේ ඇයි? කියලා අහපුවම ලැබෙන්නේ,

"හිතේ තියෙන ගරුත්වය පෙන්නන්නයි වඳින්නේ. ගරු කරනවා නම් වඳින්න බැරි ඇයි?" වගේ උත්තර.

ඒත් මේ වැඳ වැටීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක්ද කියන එක බණ්ඩාට කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයක්.

බණ්ඩාට පේන විදියට නම් වැඳීම කියන සංකේතය භාවිතා වෙන්නේ ගෞරවය ප්‍රදර්ශනය කිරීමේ සංකේතයකට වඩා යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට. ගැති බව, කීකරු බව පෙන්වීමේ සංකේතයක් විදියට. අවනත බව පෙන්වීමේ සංකේතයක් විදියට.

ඔය අවනත බව, ගැති බව, යටහත්පහත් බව වගේ හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී යම් යම් සාධක බලපාන බවයි බණ්ඩාට හිතෙන්නේ. උදාහරණයක් විදියට,

- සමාජ භූමිකාව අනුව... (දෙමව්පියන්, ගුරුවරුන්, නෑදෑයන්)

- වයස අනුව... (පවුලේ වැඩිමහලුන්, නෑදෑවන වයසින් වැඩි අය)

- තනතුරු... (තමාට වඩා වැඩිමල් ඉහළ තනතුරක් දරන අය ඉදිරියේ වැඳ වැටෙන අයෙක් තමන්ගේ නිවසේ මෙහෙකාරකම් කරන තමන්ට වඩා වැඩිමල් කාන්තාව හෝ පිරිමියා ඉදිරියේ වැඳ වැටෙන්නේ නැහැ. සමහර පවුල් වල දරුවන් පවා බලයෙන් අඩු යැයි සම්මත මෙහකාරයන්/මෙහෙකාරියන්ට වඳින්නේ නැහැ)

- බලය... (තෑගි ප්‍රදානෝත්සවය දවසට ගුරුවරු, ඇමතිවරු ඉස්සරහා දණින් වැටෙන දරුවන් පාසලේ කසළ ඉවත් කරනා පුද්ගලයාට පෝළිමේ ගොස් වඳිනවා දැකල තියෙනවද?)

- ලිංගිකත්වය... (සමහර පලාත් වල බිරියන් සැමියන්ට වැඳීම සිදු කරනවා)

- මීට අමතරව පූජ්‍යය පක්ෂය... (මේ පිරිස ඉදිරියේ එකී මෙකී නොකී සියලු දෙනා වයස තරාතිරම නොබලා වැඳ වැටෙනවා)
 
 

කොයි විදියට කිව්වත් සමහරුන්ට අනුව වඳින්නේම ගෞරවය පෙන්නන්නලු. ඒ වෙලාවලදි බණ්ඩා අහන ප්‍රශ්නය තමයි,

"ඒ කියන්නේ අපේ සමාජයේ දෙමව්පියන් දරුවන්ට ගරු කරන්නේ නැද්ද? ගුරුවරුන් සිසුන්ට ගරු කරන්නේ නැද්ද? වයසින් වැඩි අය වයසින් අඩු අයට ගරු කරන්නේ නැද්ද? ගරු කරනවා නම්, වැඳීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක් නම්.. ඇයි අපිට ඔය කිව්ව අය දරුවන්ට, සිසුන්ට, වයසින් අඩු අයට, බලයෙන් අඩු අයට වඳිනවා දකින්න ලැබෙන්නෙ නැත්තේ?" කියන ප්‍රශ්නය.
 
 

"ඒත් අපේ ඉස්කෝලෙ සර් හම්බුනාම වඳින්නේ නැතුව ඉන්න මොකක්ද මොකක්ද වගේ"

දවසක් යාලුවෙක් බණ්ඩා එක්ක කිව්ව කතාවක්. යාලුවාගේ ඒ කතාව පිටිපස්සෙ හැංගිලා තිබ්බ යථාර්තය තේරුම් ගන්න බණ්ඩාට එච්චරම අමාරු වුනේ නැහැ.

සමාජයෙන් සම්මත කරන ලද නිශ්චිත භූමිකා ඉදිරියේ යටහත් පහත් බව පෙන්වලා තමන්ගේ 'හොඳකම' පෙන්වන්න සමාජය දීලා තියෙනවා වැඳීම කියන සංකේතය. ඉතින් යම් අවස්ථාවක මේ 'හොඳකම' හෙවත් යටහත් පහත්, කීකරු බව පෙන්වීමේ සංකේතය භාවිතා නොකරනවා කියන්නේම ඒක 'හොඳ' හැසිරීමක් පෙන්වන්න තිබ්බ අවස්ථාවක් පැහැර හැරීමක්. ඒ කියන්නේ එහෙම කෙනෙක් උගන්නපු ගුරුවරයාටවත් නොවඳින කෙනෙක්. වඳින්නේ නැති එක උද්දච්ඡ කමේ ලක්ෂණයක් !

ඔය විදියටයි මගේ මිතුරාගේ හිතේ වරදකාරී හැඟීම (guilt) නිර්මාණය කෙරෙන්නෙ.

ඇත්තම කියනවා නම් කවුරු කාට වැඳගත්තත් පුද්ගලිකව බණ්ඩාට නම් ඒක අදාල නැහැ. ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්න විතරක් නෙමේ, පොළවේ පෙරලි පෙරලි පස් කාලා අන්තිමට ඕනම කෙනෙක්ගේ පශ්චාත්භාගය ලෙවකන්නත් නිදහසත් තියෙනවා. ගැටළුවක් ඇත්තේම නැහැ.

නමුත් සමාජයක් විදියට අපගේ අනාගත පරපුර වන දරුවන්ට අධිකාරී බලය, තනතුරු, සමාජ භූමිකා වලට අවනත වෙන විදියේ සංකේත හුරු කරවමින් ඒ අන්දමේ මානසිකත්වයක් උරුම කරලා දෙන එකට නම් බණ්ඩා කොහෙත්ම එකඟ නැහැ.

ඒකයි පෞරෂ හීන, නිවට, බියගුළු පරපුරක් දැනට ඇතිවෙලා තියෙන්න සහ ඉදිරියටත් ඇතිවෙන්න ඔය වැඳීම කියන සංස්කෘතික ලක්ෂණය සෘජුවම බලපාන බව බණ්ඩා තදින්ම විශ්වාස කරන්නෙ.

තවමත් කවුරුන් හරි කියනවා නම් "නෑ නෑ වඳින්නේ ගෞරවය ප්‍රකාශ කරන්න විතරමයි" කියල, බණ්ඩා ඒ අයට කියන්නේ එක දෙයයි.

ලංකාවේ සමහර පලාත් වල විවාහ උත්සව වලදී සිරිතක් තියෙනවා මනාලිය විසින් මනාලයාට වඳින. ඒ මනාලිය, මනාලයා ඉදිරියේ වැඳ වැටෙන්නේ මනාලයාට තියෙන ගරුත්වයට නම්, අපේ සංස්කෘතියේ මනාලයන්ද සිය මනාලියන්ට ගරු කරනවා නම්..

කවදා හරි විවාහ මංගල උත්සව වලදී මනාලයන් විසින් මනාලියන්ට වඳින එක මනාලයාට ලජ්ජාවට කාරණයක් නොවන, මනාලයාගේ පිරිමිකමට අභියොගයක් නොවන, සාමාන්‍යය සම්ප්‍රදායක් වුන දවසට ඇවිත් බණ්ඩාට කියන්න.

එදාට අපි කවුරු කවුරුත් පිළිගන්නම් වැඳීම කියන්නේ යටහත් පහත් බව පෙන්වීමේ සංකේතයක් නෙමේ, ගෞරවය පෙන්වීමේ සංකේතයක් කියල.

එතකන් නම් 'වැඳ වැටීම' කියන්නේ ගෞරවය ප්‍රකාශ කිරීමේ සංකේතයක්ය කියලා පිළිගන්න පියවි සිහියෙන් ඉන්න කිසිම කෙනෙක්ට පුළුවන් වේවිය කියලා බණ්ඩා හිතන්නේ නැහැ
 
 

22 comments:

  1. "පෞරෂ හීන, නිවට, බියගුළු පරපුරක් දැනට ඇතිවෙලා තියෙන්න සහ ඉදිරියටත් ඇතිවෙන්න ඔය වැඳීම කියන සංස්කෘතික ලක්ෂණය සෘජුවම බලපාන බව..." 100%ක්
    එකඟයි.

    ReplyDelete
  2. ඒකනෙ ජපානයේ මිනිස්සු හැම වෙලාවෙම අනිත් කෙනාට නැමිල ආචාර කරනවා. පෞරුෂය හීන වෙච්චි මෝඩයො

    ReplyDelete
    Replies
    1. මේ සටහන බුකියේ පෝස්ට් කලාමත් ඔය කතාවම කියපු මහත්මයෙක්ට දුන්න ප්‍රතිචාරය එහෙමම මෙතනට අලවමි

      // වැඳීම කියන්නේ ආචාර කිරීමේ ක්‍රමයක් නෙමේ. ජපානේ පුද්ගලයන් දෙදෙනෙක් හමුවුනාම අත් එකතු කරලා හරි නැතුව හරි එකිනෙකාට ඔලුව නමා ගත්තාට අපේ සංස්කෘතියේ තියෙන වැඳීම කියන චාරිත්‍රයට අනුව වඳින කෙනාට වැඳුම් ලබන කෙනා දණ ගහල වඳින්නේ නැහැ. වැඳීම කියන එක ආයුබෝවන් කියන එකෙන් සහ අතට අත දීමෙන් වෙනස් බව තේරුම් ගත යුත්තේ ඒ අනුවයි.

      ඒ වගේමයි මිලිටරි කල්චර් එකක උසස් යැයි සම්මත නිලධාරියාට ආචාර කිරීම වැනි දේවල් ඒ ආයතනය පවත්වාගෙන යාමෙට පවතින තත්ව යටතේ ප්‍රායෝගික හේතු තියෙන්න පුලුවන්.

      නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මුලු සමාජයකම ආකල්ප ඒ ආකෘතිය යටතේ හැඩ ගස්වා ගත යුතු බව. වයස, ලිංගිකත්වය, බලය වැනි සාධක මත පදනම් වෙමින් සමාජයේ වෙසෙන කොටස් තවත් කොටස් වලට යටහත් පහත් බවක් හෝ කීකරු ගැති බවක් දැක්විය යුතු බව.//

      Delete
    2. දණ ගහල වැදීම ආචාර ක්‍රමයක් තමයි. ඒක අපේ රටේ හා ආසන්න රටවල තියන ආචාර ක්‍රමයක්. ලංකාවෙ තමාට වඩා වැඩිමහලු හෝ උසස් කෙනෙකුට ආචාර කරන්නෙ වැඳලා.සමාන අය හෝ ආගන්තුකයින් ට අත්දෙක එකතු කරල ආචාර කරනවා. ඒක අපේ තිබුන සිරිත්.
      බටහිරින් ජාතීන්ට අනුව තමන්ගෙ දණ නමන එක යටත් වීමක් හෝ වහලුන් කරන ක්‍රියාවක්. ඒක හින්ද දැන් අපිටත් වඳින එක odd වගේ පේන්න පුලුවන්. සමහර රටවල ආචාර කිරීමක් විදිහට කෙල ගාන, නහය අතුල්ලන ඒව තියෙනවා. අපිට සාපේක්ෂව ඒව කුනුහරප වෙන්න පුලුවන්.

      Delete
    3. සිරිතක් බව පැහැදිලියි. සිරිතෙන් හැඟවෙන දේ සහ එය තව දුරටත් කරගෙන යා යුතුද නැද්ද කියන එක ගැනනෙ මේ කතිකාවත.

      මට අනුව වැඳීම කියන්නේ ගෞරවය ප්‍රකාශ කෙරෙන සංකේතයක් නොවෙ, යටහත් පහත් බව ප්‍රකාශ කෙරෙන සංකේතයක්. ඒ අදහස තමයි මේ සටහනෙන් ගේන්නේ. මම මගේ අදහස තහවුරු කරන්න සටහනේ කරුණු ගෙනත් තියෙනවා. මගේ අදහසට එකඟ නැත්නම් මම ගෙනා කරුණු විවේචනය කරන්න.

      සටහනක් නොලිව්වා වගේ ආයේ මුල ඉඳලා කමෙන්ට් කොටන එක තේරුමක් නැහැ

      Delete
  3. වැඩේ කියන්නේ බං.. මේ ලංකාවේ පියවි සිහියෙන් ඉන්නේ කියෙන් කී දෙනාද? :))

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් එහෙම තමයි. ඇවිදින මළමිනී වගෙ

      Delete
  4. අධ්‍යාපන ඇමතිතුමා ආචාර සමාචාර කිරීමේ සමානතාව පෙන්වා ඩි ජනතාවට ආදර්ශයක් ලබාදෙන්න හැදුවම අපේ වුන් එයට කෝචෝක් කලා.

    ReplyDelete
    Replies
    1. එහෙම සිද්ධියක් ගැන මතකයක් නම් නැහැ. සමහර විට වෙන්නත් ඇති

      Delete
    2. අර පත්වීම ගත්ත එකාට නැමිලා වැඳලා නෙහ්.. :))))

      Delete
  5. වැදීම උතුම් ක්‍රියාවක්. එය වැරදි කෙනාට කිරීමයි වැරදි.

    ReplyDelete
    Replies
    1. වැඳීම කොහොමද යාලුවා උතුම් ක්‍රියාවක් වෙන්නේ?

      Delete
  6. නොකරම බැරි ගානට (මාත් එක්ක ඉන්න අයට එම්බැරසින් නොවීම සඳහා ) වැඳීම බලාපොරොත්තු වෙන අයට ඉඳලා හිටලා වඳිනවා. මට වඳින ආවාම එපා කියනවා. ඒත් සමහර ලමයි වඳිනවා නෙ. ගෞරවයක් ගැන මට නම් හිතෙන්නේ නෑ අපහසුතාවයක් පමණයි

    ReplyDelete
    Replies
    1. මම නම් කිසිම කෙනෙක්ට වඳින්නෙත් නෑ, මට වඳින්න දෙන්නෙත් නැහැ. අපේ ගෙදර අයට නම් මගේ සෝ කෝල්ඩ් 'අමුතු' ගති දැන් පුරුදුයි. ඒ නිසාද කොහෙද මගේ වෙනස්කම් වලට මුකුත් කියන්නෙ නෑ

      Delete
  7. අදටත් දෙමවුපියන්ට සහ හරි මග පෙන්නු පාසැල්/වි.වි ගුරුවරුන්ට වඳිනවා. ලංකාවේදී විතරක් නෙවෙයි පිටදිත් එහෙමයි. ඒක නිවටකමක්ද නැද්ද කියන ප්‍රශ්නේ කවදාවත් ඇවිත් නෑ. වැඳීම කියන්නේ යටහත් පහත් බව පෙන්වන ලක්ෂණයක් නම් එයටත් තරමක් දුරට එකඟයි. ජීවිතේ බොහෝ දේවල් සාර්ථක වීම පිටිපස්සේ ඉන්නේ මේ කියන දෙමවුපියන් සහ ගුරුවරුන්. ඒනිසා ඔවුන්ට යම් දුරකට හෝ යටහත් පහත් බව පෙන්වීම මට නම් ප්‍රශ්නයක් නෙවෙයි.

    ඒත් හාන්දුරුවන්ට, ආගමික පූජකයින්ට, කපුවන්ට, දේශපාලකයින්ට සහ වෙන ලොකු ලොක්කන්ට නම් ප්‍රතිපත්තියක් ලෙස වඳින්නේ නෑ. එහෙම නොවැඳ සිටීමෙන් ප්‍රශ්න ඇතිවූ අවස්ථාවනුත් බොහොමයි. එකම හේතුව මේ වගේ අය‍ට විශේෂ ගෞරවයක් හෝ යටහත් පහත් බවක් පෙන්වන්න තරම් අවශ්‍යතාවයක් නැති කම. සුදුසුකම් සහ ස්වභාවය නිසා රැකියාවේදී ලොක්කන්ට වැඳීමේ අවශ්‍යතාවයක් කවදාවත් පැන නගින්නෙ නෑ. ඔන්න ඔහොමයි මගේ නම් bowing policy එක!

    ReplyDelete
    Replies
    1. කාටවත් යටහත් පහත් බවක් පෙන්වන්නේ මොකටද? අනික සමාජයක් විදියට ඔය යටහත්පහත් මානසිකත්වය අහිතකරයි, මම සටහනේ විස්තර කරල තියෙන විදියටම

      Delete
  8. පුදුම වාතයක්. මගේ ළමයින්ට වඳින්න කියල දීල නැහැ. අපේ ගෙදර එන අමුත්තෝ එයාගේ ළමයින්ට කියනවා අපිට දණ ගහල වඳින්න කියල. අපි එපා කියනවා හුඟක් වෙලාවට. එතකොට එයාල කියනවා අපි ළමයින්ට උගන්වල තියෙන්නේ අනුන්ට ගරු කරන්න, සිංහල සිරිතට අරක මේක. නිකන් හරියට අපි අපේ ළමයින්ට එහෙම දේවල් උගන්වල නැහැ වගේ. අනුන්ට ගරු කරනවයි කියන්නේ දණ ගහල වඳින එකම නොවේ. ජපානයේවගේ ඇඟ නමල ආචාර කරන්න පුළුවන්. අවුරුද උත්සව වලත් ඔය සීන් එක කරනවා.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...