Thursday, January 11, 2018

දන්ත ධාතුව සහ මොනාලිසා


මා කුඩා හුජ්ජා කොලුවෙකු සන්දියේ ඉතා හොඳ බෞද්ධයන් වූ මගේ දෙමාපියන් විසින් මගේ ආදරණීයම නෑදෑයා වූ නුවර ලොකු අම්මාව හමු වීමට යන මුවාවෙන් මා කැටුව නුවර ගියේ ය. ගමන අතර මගදී මේ යන්නේ ලොකු අම්මා හමු වීමටම නොවන වග මට වටහා ගත හැකි වූයේ අපේ අම්මා සියල්ලටම පෙර කට ඉස්සර කර ගත් නිසා ය.

"නුවර ගිහිං දළදා මාලිගාවවත් වැන්දේ නැත්නම් වැඩක් තියෙනවද?" ‍

එකල නිරාගමිකයෙකු වීමට තරම්වත් ආගමක් ගැන පැහැදිලි අදහසක් නොතිබූ නිසා දළදා මාලිගාව වැදීම පිලිබද විරෝධාකල්පයක් මට නොවීය. වැදීම කෙසේ වෙතත් කුඩා කළ පටන් මගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වූ පුළුන් පිරවූ රාජා ඇතා යලිත් නැරබීමට අවස්ථාවක් උදාවීම පිලිබදව සියුම් සතුටක් උපන්නා මතක ය. ලොකු නැන්දාගේ ගෙදරින් බඩ පිරෙන්නට සප්පායම් වූ අප ගෙදර හැදූ පැණි වළලු පාර්සලයක්ද රැගෙන සුදු වතින් සැරසී දළදා මාලිගාව කරා පිය මැන්නේ ය.

එදා අප යන විට මාලිගාවේ තේවාව ආරම්භවී තිබුනු නිසා දළලා කරඩුව දැක බලා ගන්නට හැකි වේයැයි සිතා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය අපේ අම්මා වෙනදටත් වඩා වැඩියෙන් මල් මිලදී ගැනීමට යුහුසුලු වූයේ ශ්‍රද්ධාව දෝරෙ ගලමින් තිබූ නිසා විය යුතු ය. අප උඩ මලුවට ලගා වන විට කරඩුව දැක ගැනීමට රැස්ව සිටි ජනකාය පොදි කමින් පෝලිං වල ගාල් වී සිටියේ ය. අම්මා අයියා ද, නංගී ද කැටුව පෝලිමට එක් වූ අතර පවුලේ හිතුවක්කාරයන් ලෙසින් සැලකුනු අපච්චීත් මමත් ඈත සිට කරඩුව නැරබීමෙන් පමනක් සෑහීමකට පත් වීම නිසා පල්ලං බැස්සේ ය.

පාත මාලයට පැමිනි අප එහි තිබෙන චිත්‍ර හා කැටයම් නරඹමින් සිටින අතර එතෙක් වෙලා චූ බරක් මෙන් මා පෙලමින් තිබූ පැනයක් අප්පච්චීගෙන් ඇසීමට සිතා ගතෙමි.

"දැන් අර ව‍ඳින මිනිස්සු හරියටම දන්නවද ඕක ඇතුලේ තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙම දත කියලා?" නුවර යුගයේ චිත්‍ර කලාවේ මහිමයෙන් මත්වී සිටි අප්පච්චීගේ තීක්ෂණ දෑස් එකෙනෙහිම මාවෙත යොමු වූයේ පැරණි විප්ලවවාදී අතීතය සිහිපත්වීමෙන් දැයි නොදනිමි.

"ඒක අදාල නෑ..." මම ෆුල් අන්දොස් වී ගියෙමි.

"ඒ කිව්වේ..?"

"අදාල වෙන්නේ ඇත්තටම ඕක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන එක නෙවෙයි. ඕක ඇතුලේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන විශ්වාසය. ඒ විශ්වාසය නිසා ඕකට වදින මිනිස්සුන්ට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ තියෙන තමන්ටම විසදගන්න බැරි සෑහෙන ප්‍රශ්න ගොඩක් විසදනවා. අපිව ආරක්ශා කරන, පිහිට වෙන, ආශිර්වාද කරන අපිට වඩා ලොකු දෙයක් තියෙනවා කියන හැගීම නිර්මාණය කරලා දෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ අන්න ඒ විශ්වාසය මිසක් ඇතුලේ තියෙන දේ නෙවෙයි."

එදිනම සවස නුවර ගමන නිමා වී ගෙදර පැමිනි මුත් මෙම සංවාදය මගේ සිතුවිලි තුළ බොහෝ කාලයක් ගත වන තෙක් හොල්මන් කරන්නට වීය. පසුකාලීනව අසන්නට ලැබුනු කතාවක් නිසා යලිත් ඉහත සංවාදය සිහිපත් කරවනු ලැබූයේ ඒදෙකෙහි පැවැති සමානකම නිසා ය. ‍

එම පසු කතාව 'ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රය' සම්භන්ධව ය.

1911 හේ අගෝස්තු 21වන දින ප්‍රංශයේ Louvre කෞතුකාරයේ තැන්පත් කර තිබුනු ලෝකප්‍රකට මොනාලිසා චිත්‍රය කිසිවෙකු විසින් සොරාගන්නා ලදි. විශාල ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීමෙන් පසු මොනාලිසා යලි සොයා ගැනීමට පොලීසිය අති විශාල පරිශ්‍රමය අවසානයේ සොරකමෙන් වසර 2කට පසු Vincenzo Peruggia නැමැත්තෙකු මොනාලිසා සිතුවම රහසිගත ලෙස විකිනීමට යාමේදී අන්‍අඩංගුවට ගනු ලබයි.

පසුව කළ සොයා බැලීම් වලින් හෙලිදරවු වන්නේ මොනාලිසා චිත්‍රය සොරකම් කෙරුනු සමයේ ඔහු Louvre කෞතුකාරයේ සේවකයෙකුව සිටි බවයි. අදාල සිද්ධිය සම්භන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ ප්‍රවෘතිය මෙය වුවද එහි සැගවුනු සිදුවීම් හෙලිදරවු වන්නට පටන්ගන්නේ පසුකාලීනව ය.

‍ඊට අනුව Peruggia ට මොනාලිසා චිත්‍රය සොරකම් කිරීම සදහා කොන්ත්‍රාත්තුව බාර දෙනු ලබන්නේ Marqués Eduardo නම් කුප්‍රකට කලා කෘති ජාවාරම්කරුවෙකු විසිනි. ඔහු විසින් Peruggia හට පොරොන්දු වූ සම්පූර්ණ මුදලම සොරකමින් පසු ලබා දෙන ‍අතර චිත්‍රය රැගෙන යාමට වෙනත් දිනයක පැමිනෙන තෙක් එය ආරක්ශා කර ගන්නා ලෙස උපදෙස් ලබා දී පිටව යයි. එසේ වුවද Eduardo යලිත් කිසිදිනෙක මොනාලිසා චිත්‍රය රැගෙන යාමට එන්නේ නැත.

කලා කෘති ජාවාරම්කරුවෙකු ලෝකයේ වටිනාම චිත්‍රය ලෙස සැලකෙන මොනාලිසා සොරකම් කිරීමෙන් පසුවත් එය රැගෙන යාමට නොපැමිනෙන්නේ ඇයි? Eduardo විසින් මොනාලිසා චිත්‍රය සොරකම් කිරීමට ප්‍රථම ඇමෙරිකාවේ හා යුරෝපයේ වෙසෙන ධනවත් කලා කෘති රැස්කරන්නන් තනි තනිව හමුවී එම චිත්‍රය මිලදී ගැනීමට ඔවුන්ගේ ඇති කැමැත්ත විමසා සිටි අතර ඔවුන්ගෙන් 6 දෙනෙකු අති විශාල මුදලක් ගෙවා චිත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පල කරන ලදි. ඒ අනුව සූක්ශම ලෙස සකසනු ලැබූ මොනාලිසා චිත්‍රයේ ව්‍යාජ පිටපත් 6ක් නිර්මාණය කරන Eduardo, Louvre කෞතුකාරයෙන් චිත්‍රය සොරකම් කරන ලද බවට වන පුවත ප්‍රචාරය වීමත් සමග එම ව්‍යාජ පිටපත් 6 චිත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පල කළ ධනපතියන්ට විකුනා දමනු ලබයි. ඒ අනුව Eduardo ට අවශ්‍ය වූයේ ලොව විශිඨතම කලා කෘතියක් වන මොනාලිසා චිත්‍රය නොව එය සොරකම් කිරීම පිලිබද පුවත පමනි.

එමෙන්ම, තම ජීවිත වල අඩුව පුරවා ගැනීමට අති විශාල මිලක් ගෙවා අත් පත් කර ගත් ව්‍යාජය, සැබෑවක් බව තමන්ටම ඔප්පු කරවා ගැනීම සදහා ‍අවශ්‍ය වන්නේ තවත් එක් හිස් කමක් පමනි.
 
 
.
.
.
ප/ලි -

කසුන් චන්ද්‍රනාත් විසින් කාලයකට පෙර ලියූ සටහනකි.

5 comments:

  1. විස්වාසය තමයි ආගම් වලට වැදගත් වෙන්නේ. මට නැත්තේම ඒක නිසා ආගම් සහ මා අතර ගැප් එකක් තියනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මං උග්‍ර නිරාගමිකයෙක් කියලා. ඒකටත් ආගම් බොරුයි කියලා විස්වාසයක් ඕනෙ නේ. මං දන්නෙ නෑ ආගම් ඇත්තද නැත්තද කියලා. එනිසා මං නොදන්නෙක් හා කැමැත්තක් නැත්තෙක් විතරයි

    ReplyDelete

Followers

Google+ Followers