Friday, August 12, 2016

අප්සරා



ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත.

"බොන්නෙ නැද්ද?"

මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.

මම අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ ඔලුව කිසිදා නොදැනුන බරකින් වසාගෙන තිබුනි. ගලපාගත යුතුය, වචනයක්.. කුමක් හෝ... වචනයක්.

මට ඇසීමට දාහක් දේ තිබෙන බව හැඟුනද යමක් කල්පනා කරගත නොහැක්කා සේය.

"උඹ කවද්ද අප්සරා එක්ක මේ සම්බන්දෙ පටන් ගත්තෙ?"

තවමත් බාගයකට වඩා පිරී තිබුන පෙප්සි වීදුරුවෙන් උගුරක් ඔහු පානය කලේය.

පෙප්සි? අප්සරා ආස ස්ප්‍රයිට් වලට.. අපි දෙන්නා හැමදාම බිව්වේ ස්ප්‍රයිට්.. ඒ අප්සරා ආස නිසා

මම මටම කියා ගත්තෙමි,

"උඹ දන්නවනෙ කතාව දැනටමත්. අප්සරා මට කිව්ව උඹට හැමදේම කිව්වයි කියල. උඹ එක්ක සම්බන්ධෙ නවත්තන්න සති දෙක තුනකට කලින් තමයි මම අප්සරාගෙන් යාලු වෙන්න ඇහැව්වෙ"

මේ අවලමාට ගාණක් නැතුව කියාගෙන කියාගෙන යන හැටි. මගෙ අප්සරාව.. මගේම අප්සරාව මගෙන් උදුරගෙන..!

මා සිතේ තිබුන දුක, කෝපයකින් සහ වෛරයකින් වැසී යයි. මොහු මේ ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇත්තා සේ අප්සරාවද සැහැල්ලුවට ගෙන විය යුතුය. පර බල්ලා! අප්සරාට මා කලාක් මෙන් කිසිවෙකුත් කෙදිනකවත් ආදරේ නොකරනු ඇත. අප්සරා එය නොදන්නවා වුනාට එය මට සහතිකය.

අප්සරා මගේ.. ඒකි මගේම විතරයි

කෝපය ඉවසාගෙන ආපු කාරණාවට බැස්සෙමි. මේවෙලෙ කලබල වීම නුවණට හුරු නැත. අප්සරාගේ කැමැත්ත මා වෙත නැවත ලබා ගත් පසු මූ ගැන මට බලාගත ඇහැකිය.

"මං උඹට කෙළින්ම කියන්නම්. මම අද උඹට එන්න කිව්වෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. කොටින්ම දෙකෙන් එකක් නෑ. තියෙන්නෙ එකයි. අප්සරා මගෙ කෙල්ල. අපි ලව් කරන්න අරං දැන් අවුරුදු හතරකටත් වැඩියි. මුලින්ම ඒලෙවල් ක්ලාස් යද්දි අපි දෙන්නා යාලු වුනේ. උඹ දන්නව ඇතිනෙ. ඔය ජොබට යන්න කලින් මම කිව්වා අප්සරාට. ඒත් මම ඒකිව විශ්වාස කරලයි යැව්වෙ. ඒත් ඒකි ඒ විශ්වාසය කැඩුවා. කැඩුව නෙමේ කඩන්න සිද්ධ වුනා. මොකද උඹ ඒකිව රවට්ටගෙන. මගෙ අහිංසක කෙල්ලව රවට්ටගෙන. මචන්, මටයි අප්සරාටයි හිටිය විදියට ඉන්න දියන්. අපි මේ ප්‍රශ්නය දුර දිග යවන්නෙ නැතුව ගොඩින් බේර ගමු"

මම එක හුස්මට කියාගෙන කියාගෙන ගියෙමි. අවසන් වචන ටික පිටවුනේ වෙව්ලන ස්වරූපයකිනි. කේන්තිය නිසාද දුක නිසාද මම නොදනිමි.

මගේ අප්සරාව වෙන එකෙක්ගෙන් මට ඉල්ලන්න වෙලා.. අවන්හලේ ජනේලයෙන් පිටත අහස බැලුවෙමි. වළාකුළු නැති හවස් අහස..අවට පරිසරයට එක් කලේ මූසල කාලකණ්ණි බවකි.

අප්සරා මගේ ! මගෙ හිත ඇතුලෙන් ඇගේ නම දෝංකාර දෙයි

ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව යයි. මම අප්සරාව දුටු පළමු මොහොත. මගේ ජීවිතයේ මම ආසම මොහොත..! අප්සරා මට කැමැත්ත දුන් දවස..මම අප්සරාට මුලින්ම අර දුන්න පෙන්ඩන්ට් එක..මම අප්සරාට පළමු හාදුව දුන්න මොහොත.. ඊට මාස ගාණකට පස්සෙ මුලු ලෝකයෙන්ම වෙන්ව අප දෙදෙනා තනි වූ හැටි.. එතනදි අප්සරා ඇගේ හැමදේම මා වෙනුවෙන් පූජා කල හැටි.. ඇය මගේම වුන හැටි..ඉන් සතියකට විතර පස්සෙ අප්සරාගෙයි මගෙයි පළවෙනි රණ්ඩුව.. ඉන් පසු මම අප්සරාව මඟ හැරුන හැටි.. මම පළවෙනි වතාවට අප්සරාට අත උස්සපු දවස.. මම ඇයව අත් හරින බවට තර්ජනය කල හැටි..අප්සරා හඬමින් මගෙ පස්සෙන් ආපු හැටි.. මම යාලුවන් එක්ක වෙනම ලෝක වල විනෝද වෙද්දි ඇය තනි වූ හැටි..

මගෙ ඔලුව පුපුරන්න වගේ දැන් නම් ! කෙසේ හෝ මතකයන්ගෙන් මිදිය යුතුව ඇත. මේ මගේම අප්සරාව නැවත මගේම කරගන්න තියෙන මගේ අන්තිම අවස්ථාව විය හැකිය.

මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහු තවමත් නිහඬවය

"මොකද දැන් උඹ කරන්නෙ? කතා කරහන්. උඹ කැමතිද මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න?"

අවසානයේ ඔහු නැවතත් සිය හඬ අවදි කලේය

"මචං, මට උඹත් එක්ක කිසිම අවුලක් නෑ. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. අනික උඹ මේක මෙහෙම ෆේස් ටු ෆේස් කතා කරල බේරගන්න එන්නයි කියල කිව්වම මට පුදුම හිතුන. අප්සරා උඹ ගැන කියල තිබ්බ ඒවත් එක්ක. මොකද උඹ හැම වෙලේම ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේමලු නේද?"

ඔහු කතා කරන්නේ මඳ සිනහවකින් මුව පුරවාගෙනය.

"මට අප්සරා හැමදේම කිව්වා මුල ඉඳලම. උඹල යාලු වෙච්චි එකේ ඉඳල උඹල උඹ ඒකිට සලකපු හැටි, ලව් කරපු හැටි, ගෙවල් එක්ක කේස් දාගත්ත හැටි, උඹ ඒකිට ගහපු හැටි, නීති දාපු හැටි ඔක්කොම.. ඒව විතරක් නෙමේ.. උඹ දැන් මහලොකුවට වටේ කිය කිය යන්නෙ උඹ ඒකි එක්ක නිදාගත්තයි කියල. ඒකත් අප්සරා මට කියලයි තියෙන්නෙ"

මගේ ඇඟ කිළිපොලායනු දැනුනි. මම ගහන්න සිටි අවසන් තුරුම්පුව ඔහුම මා ඉදිරියේ දෙකේ කොළේට දැමුවේය.

"මට ඒ කිසි දේකින් වැඩක් නෑ. ඒකිව දැක්කම මට ආස හිතුන. මම දවස් තුන හතරක් කතාබහ කලා.. මම ඒකිගෙන් යාලු වෙන්න ඇහැව්වා. එච්චරයි. ඒකි හිටියේ ප්‍රශ්න ගොඩක. උඹ ඒ ප්‍රශ්න වලට ඒකිට සහනයක් වෙනව වෙනුවට, උඹත් ඒ ප්‍රශ්න වලින් එකක් වෙලයි ඉඳල තියෙන්නෙ. උඹ ඒකිට නීති දාලා, බැඳලා අමුතු සතෙක් විදියට තියන් ඉන්න හදල තියෙන්නෙ. කල් යන්න යන්න උඹ ඒකිව ගනන් අරන් නැහැ. ඒකි උඹේ පස්සෙන් ආවත්. අපි එකට වැඩ කරන නිසා කතා කරන්න හම්බෙන හැම වෙලේම කිව්වෙ ප්‍රශ්නමයි. මම කලේ ඇහුම්කන් දෙන එක. උඹ කොල්ලො කීදෙනෙක් එක්ක ගේම් දාගෙන තියෙනවද ඒකි නිසා. කිසිම හේතුවක් නැතුව. ඒත් දැන් උඹ මගෙන් ඒකිව ඉල්ලන්න ඇවිත්. මොකද උඹ දන්නවා සතෙක් වගේ වැඩ කරල මේ ප්‍රශ්නේ මා එක්ක විසඳගන්න උඹට බෑ කියල.."

ඔහු කියාගෙන කියාගෙන ගියේය.

මම ආවේ මූට කතා කරල ප්‍රශ්නෙ බේරගන්න. මූ කරන්න හදන්නෙ මට තෙල ගහන එක.

"අනේ මචන් ප්ලීස්, තේරුම් ගනින්. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ. මගෙ අතින් වැරදි වුනා තමයි. ඒත් මම ඒකිට එදා කිව්වා ඒ ඔක්කොම හදාගන්නවා කියල"

ඔහු හිස වැනුවේ මං කියනා කිසිම දෙයක් ඔහුට වැදගත්කමක් නැතුවා සේය.

"මං යනව. උඹට ඕන නම් අප්සරා එක්ක හම්බෙලා ආයෙ අන්තිම වතාවට කතා කරහන්. මට අවුලක් නෑ. "

"මං කතා කරල වැඩක් නෑ. මං කියන්න තියෙන හැම දේම කිව්වා. ඒකි හිත වෙනස් කරන්නේ නෑ.. උඹටම විතරයි මේක විසඳන්න පුළුවන්. උඹත් කොල්ලෙක් නේද? පොඩ්ඩක් හිතහන් උඹ මේ කරන වැඩේ ගැන"

ඔහු පුටුවෙන් නැගිට්ටේය. අපේ කතාව මෙතනින් ඉවරද? අප්සරාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද??

මම කෝපය, දුක මිශ්‍ර හැඟීමෙන් ඔහුට අවසාන වචනය කිව්වේ ආයාචනාත්මක ස්වරයෙනි. මේ තරම් අසරණ බවක් මගේ මුළු ජීවිතයටම දැනී නැත.

"මචං මට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

"නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

ඔහුගේ පෙප්සි වීදුරුව හිස්ව ඇත.

අප්සරා ආස පෙප්සි වලට නෙමේ, ස්ප්‍රයිට් වලට.

මෙපමණ වෙලා එළියට පනින්න වැර දරමින් සිටි කඳුළු බිඳුව අවසානයේ මා දෙනෙතින් මිදි පොළෝ තලය සිපගත්තේය.

8 comments:

  1. මාත් එක සැරයක් එකෙක් එක්ක සාකච්චා කරල විසඳ ගන්ඩ යන්ඩ හිටියෙ.....පස්සෙ මම දැක්ක ඌ මට වැඩිය සෑහෙන්ඩ ඇඟපතයි සල්ලි තියන පොරක් කියල....ඉතින් මම වැඩේ අත ඇරල දැම්ම.....හැක් හැක්...

    ReplyDelete
  2. කෝ මට පෙප්සි

    මීට
    සංජු

    ReplyDelete
  3. ///"නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා"//

    ReplyDelete
    Replies
    1. මේ සටහන ලියන්න හේතු වුනේ ඔන්න ඔය වාක්‍යය. ඔය පේළිය හිතේ තියාගෙන තමයි සටහනේ අනිත් ටික ලිව්වෙ :)

      Delete