Saturday, August 20, 2016

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
"මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?" මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

6 comments:

  1. පුළුවන් කමක් තියෙනවනම් පොරව යවපන් නාරාහේන්පිට තියෙන "සහනය" කියන කවුන්සලින් කරන ස්පොට් එකට. බොහොම හොඳ මිනිස්සු ඉන්නව උදව් කරන්ට. ගොත ගහන එක ඇර ගන්ටනම් ගොඩක් වෙලාවට ඉන්න පරිසරය කරන බිසී ජොබ් එක එහෙම මාරු කරල බොහොම නිහඩ පරිසරයක ජිවත් උනොත් තමන්ටම ඒක හරිගස්සගන්ට පුළුවන්. මම මේක කියන්නෙ මගෙ අත්දැකීමෙන්. මම එක සැරයකුත් කිව්ව වගේ ආගම නිසා මමත් ගොඩ කාලයක් බයෙන් ජිවත් උනා. අමතක වෙලා ගාථා නොකිය කොහේ හරි ගිහින් මොකුත් උනොත් (රස්සාවේ හරි රස්සාවෙන් පිට) හිතෙන්නේ දෙය්යෝ මොකක් හරි කලා කියල. ගෙදරට කතා කරන හැම වෙලේම එක්කො කේන්දරේ අපලයක් කියනවා. මේ ගෙවෙන්නේ අපලම කාලෙ කියනවා. එක මෙච්චර කාලයක් තියෙනවා ඒකට මෙව්ව කරන්ට ඕනි අරව කරන්ට ඕනි එහෙ යන්ට ඕනි මෙහෙ යන්ට ඕනි අනම් මනම් කෝටියක්. අර නැන්ද කියනව අරහේ යන්ට අර පුංචි කියනව මෙහෙ යන්ට කියල. බැරිම තැන එක සැරේ ඔක්කොම නවත්තල ෆුල් නිර් ආගමික උන. දැන් හොඳට නින්ද යනව. ලෝකේ එක දෙය්යෙකුට බයත් නෑ. කිසිම වරදකුත් ණෑ. අම්මට බොහොම අමාරුවෙන් තේරුම් කරල දුන්න මට තවත් හිතට එකගව කිසිම ආගමක් අදහන්ට බෑ කියල. ඒත් ඉඳල හිටල පොස්ට් එකේ ගාථා සෙට් එකක් එවනවා. මොකද දෙමාපියෝ කොහොමත් දරුවන්ට ආදරේ නිසා. මමත් ඒව පරිස්සම් කරල තියාගන්නවා ගෙදරින් එන කැව්තුක වස්තු නිසා.

    මේ ලඟදි දවසක අපෙ අම්මට එයාගෙම සහෝදරියෙක් කියල "අක්කේ පුතා එංගලන්තෙට වෙලා මොනවහරි කුඩු ජාතියක් පෙති ජාතියක් බොනවද දන්නෙ නැහැ එක සැරේ ආගම දහම එපා වෙන්න නේද පොඩ්ඩක් අහල බලන්ට" කියල. මම ඒත් අම්මට කිව්වේ "ඔව් මම මේ ඔහේගෙන් අහන්නම තමයි අම්මේ හිටියෙ කමක් නැද්ද කුඩු ටිකක් ගැහුවට කියල" 😂😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොහේටහරි තැනකට සම්බන්ද කරන්න . ඔයා කතා කරල මදි

      Delete
    2. එල මචන්. කමෙන්ට් එකට ස්තූතියි :)

      Delete
  2. ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා ළමයි හැදුව පලියටට, උන්ගේ බඩට බොකුත් එබුව පලියට, ඉස්කෝ හොයලා ඒවට යැව්ව පලියට දෙමවුපියෝ වෙන්නේ නෑ.

    දරුවෝ තේරුම් අරන් උන්ට දුක සැප දරාගෙන නමුත් පහසුවෙන් අව‍යාජව ජීවත් වෙන්න මාර්ගය පෙනවා දෙන්න ඕන එකයි දෙමාපියෝ කරන්න ඕන.

    මම පොඩි කාලේ අපේ අම්මත් මාව ගෙය්ටි හිරකරගෙන හැදුවේ.

    අක්කට නන්ගිට තිබ්බ නිදහසක් මට නෑ.

    පස්සේ කාලෙක බලෙන්ම ගියා.

    වාසනාවකට විනාස නොවී බේරුනා.

    ඒත් ගෙදර එක්ක තියෙන තරහට දරුවෙක් විනාස මාර්ගේ තෝරාගන්න උනත් පෙළඹෙන්න පුලුවන් කියලා දන්නවා.

    "මම මූව හැදුවේ ගේ අස්සේ හිර කරගෙන" කියලා උජාරුවට කියන්න හදන හැම වෙලේම මම චා කරලා දානවා ඕ මම බලෙන් එලියට නොගිය නම් පිට රට රස්සාවක් කරලා ඔයාලට සැපට ඉන්න ගේ දොර හදලා දීලා මාසේ ගානේ වියදම් එවන එක කෙසේ වෙතත් අර අහවලාගේ පුතාලා වගේ මැන්ටල් තාත්තා ඔක්කෝම කරනකම් බලන් ඉන්න එකෙක් වෙන්න තිබ්බා කියලා.

    ReplyDelete
  3. ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා ළමයි හැදුව පලියටට, උන්ගේ බඩට මොකුත් එබුව පලියට, ඉස්කෝල හොයලා ඒවට යැව්ව පලියට දෙමවුපියෝ වෙන්නේ නෑ.

    දරුවෝ තේරුම් අරන් උන්ට දුක සැප දරාගෙන නමුත් පහසුවෙන් අව‍යාජව ජීවත් වෙන්න මාර්ගය පෙනවා දෙන්න ඕන එකයි දෙමාපියෝ කරන්න ඕන.

    මම පොඩි කාලේ අපේ අම්මත් මාව ගෙය්ටි හිරකරගෙන හැදුවේ.

    අක්කට නන්ගිට තිබ්බ නිදහසක් මට නෑ.

    පස්සේ කාලෙක බලෙන්ම ගියා.

    වාසනාවකට විනාස නොවී බේරුනා.

    ඒත් ගෙදර එක්ක තියෙන තරහට දරුවෙක් විනාස මාර්ගේ තෝරාගන්න උනත් පෙළඹෙන්න පුලුවන් කියලා දන්නවා.

    "මම මූව හැදුවේ ගේ අස්සේ හිර කරගෙන" කියලා උජාරුවට කියන්න හදන හැම වෙලේම මම චා කරලා දානවා ඕ මම බලෙන් එලියට නොගිය නම් පිට රට රස්සාවක් කරලා ඔයාලට සැපට ඉන්න ගේ දොර හදලා දීලා මාසේ ගානේ වියදම් එවන එක කෙසේ වෙතත් අර අහවලාගේ පුතාලා වගේ මැන්ටල් තාත්තා ඔක්කෝම කරනකම් බලන් ඉන්න එකෙක් වෙන්න තිබ්බා කියලා.

    ReplyDelete
    Replies
    1. //ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා ළමයි හැදුව පලියටට, උන්ගේ බඩට මොකුත් එබුව පලියට, ඉස්කෝල හොයලා ඒවට යැව්ව පලියට දෙමවුපියෝ වෙන්නේ නෑ.

      දරුවෝ තේරුම් අරන් උන්ට දුක සැප දරාගෙන නමුත් පහසුවෙන් අව‍යාජව ජීවත් වෙන්න මාර්ගය පෙනවා දෙන්න ඕන එකයි දෙමාපියෝ කරන්න ඕන.//

      සිරාම කතාව මචන්. මේ වගේ අමු අමුවේ ඇත්ත කතා කරන්න පුළුවන් බ්ලොග් අවකාශයේ විතරද මංද. බුකියෙ එහෙම මේ වගේ කතා මේ වගේ කෙළින් කිව්වොත් සෙට් පිටින් ඉන්නවා, සුනාමියක් වගේ ඇවිත් ගහන්නෙ.

      උඹේ කතාව එක්ක 100%ක් එකඟයි.

      Delete