Saturday, August 6, 2016

කාලය මැවු වෙනසක අරුමේ

යාලුවෝ..

ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.

අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්

මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.

අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.

යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..

ඒකයි යාලුකම කියන්නෙ

ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.

ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.

ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්‍රාර්ථනාව වුනේ.

අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..

..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.

ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්

ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.

යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.

මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.

"සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ"

7 comments:

  1. විකේන්ඩ්‍රිකගේ කතාවට මාත් එකගයි. ඔය කියන දෙපිරිසම මටත් හිටියා. ඇත්තටම යාලුවෙක් කියලා හිතපු සමහරක් තමන්ට අවශ්‍ය උදව් ගත්තාට පස්සේ අපිව මග හරිනවා. එතකොට පසුතැවීම පටන් ගන්නවා. යාලුවෝ කවුද කියලා හදුනගන්න හොද 'ඉවක්" තියෙන්න ඕනෙමයි. කියන්න සතුටුතවදේකුත් තියෙනවා. 5වසර ඉදන් එකට ඉගෙනගත් යාලුවෝ කීපදෙනෙක්ම අදටත් මාත් එක්ක ඒ යාලුකම රැකගෙන ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹෙ කතාවත් එක්ක එකඟයි මචන්. ජය වේවා..!

      Delete
  2. සහතික ඇත්ත. හැමෝටම පොදු ජීවන අත්දැකීමක්.

    ReplyDelete
  3. අපි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ජීවීතයේ ඒ ඒ කාලවල් එක්ක වෙනස් වෙනවා....ඒ වෙනස් වීමට ඔරොත්තු දෙන්නැති සබදතා ඉබේම කාලය අවකාශය මුදල් මත ඉබේම හීන වෙලා යනවා

    ReplyDelete
  4. තව එකක්.....මැදිවියේ එන යාලුකමේ ප්‍රශ්ණය කාලය , අවකාශය හා මුදල් කියනතුනට ඌනනය කලොත් මේ අවකාශය කියන ප්‍රශ්නෙට අපේ සෙට් එක හොද පිලිතුරක් හොයා ගත්තා...

    අපි පටන් ගත්තා වයිබර් ගෲප් එකක්....

    ලයිව් ඉන් ඇක්ශන්......වැඩේ සෝ ෆා සෝ ගුඩ්...

    ReplyDelete
    Replies
    1. වයිබර් ගෲප් එකක්? ඒකත් හොඳ අදහස. මහ පොළවෙ තියා ගන්න බැරි යාලුකම වෙනත් විදියකින් හරි පවත්වාගෙන යාම.. :)

      Delete