Monday, August 1, 2016

අල්ලා ඌරෝ මැව්වේ ඇයි?




ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි.

මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ආගම පමණක් නොව, ඕනෑම කරුණක් සම්බන්ධව දරන්නේ එකම මතවාදයක්ය, ඇත්තේ එකම ආකල්පයක්ය කියා සිතීම තරම් අනුවණකමක් තවත් නොමැති බවයි.

එකම ත්‍රිපිටකය පිළිගන්නවා යයි කියනා බෞද්ධයන් අතරද ආගම හා සම්බන්ධව ඇත්තේ විවිධ කියවීම්ය. ඔවුන් සිය එදිනෙදා ජීවිතයට ආගම සම්බන්ධ කරගන්නා අයුරු සහ ආගමික ඉගැන්වීම් අදාල කරගන්නේ එකිනෙකාට වෙනස් අන්දමිනි. ලාංකික බෞද්ධයන්ගෙන් කොටසක් සිංහලබුද්ධාගම ලෙස තමාගේම ආගමක් නිර්මාණය කොටගෙන ජාතිවාදි ක්‍රියා වල නිරත වන අතරතුර ඔවුන්ව ප්‍රශ්න කරනා බෞද්ධයන්ද මෙරට සිටියි. එසේ නම් ලොව වටා විවිධ රටවල් පුරා ජීවත් වන බිලියන 1.6ක මුස්ලිම් ජනතාව තුළ ඔවුන්ගේ ආගම පිළිබඳ ඇති වෙනස්කම් ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත.

සමහර මුසල්මානුවන් ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම, තමා දකිනා සිරිත් විරිත් අනුගමනය කිරීමේ නිදහස තමා සතුවිය යුතු බව විශ්වාස කරනා අතර තවත් සමහරු ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම සමාජය මත කෙසේ හෝ බලෙන් පැටවිය යුතු යැයි සිතයි.

ඒ පිරිස අතුරෙන්, තම අරමුණ ඉටු කරගැන්මට අවිගත්තෝය, අප ඉස්ලාමීය අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ (බොකෝ හරාම්/අයිසිස්).

එසේ පෙනුනද ඉහත පළමු පිරිස ඉස්ලාම් දහමට යම් පිරිසක් ලබාදෙන අර්ථකතනය අනුව සම්පාදනය වුන යම් නීති පද්ධතියක් තමා වෙත ආණ්ඩුවෙන් බලපවත්වනවාට කැමැත්තක් නැත. (ලංකාවේ සියලු මුසල්මානුවන් රැවුල වවන්නේ නැති අතර, සියලු මුස්ලිම් ගැහැණුන් බුර්කා අඳින්නේ නැත. ලංකාවේ මුස්ලිම් පිරිමින්ට රැවුල වැවීම අනිවාර්‍ය කොට, ගැහැණුන්ට බුර්කාව ඇඳීම අනිවාර්‍ය කෙරෙන නීති ගෙන ඒමට යෝජනාවක් ගෙන ආවොත්, ඊට වැඩිම විරෝධතාවය එල්ල වන්නේ මුස්ලිම් සමාජයෙන් බවට මා හට සැකයක් නැත, හරියට පන්සිල් පද පහ අනුව පදනම් වෙමින් ලංකාවේ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගියහොත් ඊට මුලින්ම විරුද්ධ වන්නේ බෞද්ධයන් ලෙසින්මය)

මෙම දෙකොටස අතරින් වැඩිම බලයක්, සංවිධානාත්මක ශක්තියක් සහ හඬක් ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ටය. එනිසා ලංකාවේ ඔලමොට්ටල සිංහලබෞද්ධ ජාතිවාදීන් පමණක් නොව, ලොව පුරා ජනතාවද මුළු මුස්ලිම් ප්‍රජාවම බොකෝ හරාම් වැනි ත්‍රස්ථ සංවිධාන වල මිම්මෙන් මනින්නට පටන් ගෙන ඇත.

ලොව පුරා පැතිර සිටින බිලියන 1.6ක් වූ මුස්ලිම් ජනතාව හා බැඳී ඇති මෙම ගැටළුවට ඇති විසඳුමේ වැඩි කාර්‍යභාරයක් පැවරී ඇත්තේ මුස්ලිම් ජනයා තුළින්ම නැගී ආ යුතු හඬටය.

ගැටළුව නම්, බොහෝ රටවල ඉස්ලාම් අන්තවාදයට.. ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන්ට ඒ කාර්‍යයේ නියැලීමට සිදුව ඇත්තේ තම ජීවිතය පරදුවට තබා වීමය.

එසේ තම ජීවිතය පරදුවට තබා, දහසක් කම්කොටොළු මැද, හැකි කුඩා අවස්ථාවේදී පවා සැබෑ වෙනසක් උදෙසා අවංකව කටයුතු කරන මෙම පිරිස මතය මේ විසඳුමේ වැඩි බරක් පැටව ඇත්තේ.

සියලු මුසල්මානුවන්ව අයිසිස්/තලෙයිබාන් පාට පැන්සලෙන් පාට කිරීමෙන් වන්නේ ලංකාව ඇතුළු ලොව පුරා පැතිර සිටිනා මේ පිරිස තව තවත් නිහඬ කරවීමයි, තව තවත් ඔවුන්ව පීඩනයට පත් වීමයි. කල යුත්තේ ජාතිවාදී ගෝත්‍රික ආතල් වෙනුවෙන් සියලු මුසල්මානුවන් එකම කෝවක දමා හංවඩු ගැසීම නොව, මුස්ලිම් සමාජයේ සිටිනා සැබෑ මිතුරන් හඳුනාගෙන ඔවුන්ව තව තවත් දිරි ගැන්වීමය.

මෙසේ අන්තවාදී ක්‍රියා යම් ජාතියක් ඉලක්ක කොට දිගින් දිගටම සිදු කිරීමෙන් ඒ ජාතියේ තරුණ පිරිස් තව තවත් අන්තවාදී ක්‍රියා/කල්ලි වෙත ඇදෙන බව තේරුම් ගැනීමටම සිංහලබෞද්ධ ජාතිවාදීන්ට නොහැකි වුවාට මොළේ කළඳක් ඇති ඕනෑම මනුස්සයෙකුට හැකිය.

මේ මස්වැද්දන්ට අවශ්‍ය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් ජනයාද බොකෝ හරාම්/අයිසිස් ත්‍රස්ථ සංවිධාන වල ම්ලේච්ඡයන්ට සමාන අන්තවාදීන් ලෙස හංවඩු ගැසීම මඟින් ලාංකික මුස්ලිම් ජනතාවටද අප සැලකිය යුත්තේ බොකෝ හරාම් ත්‍රස්ථයන් අප හමුවට පැමිණිය හොත් ඔවුනට සැලකිය යුතු ආකාරයෙන්මය යන මන්ධබුද්ධික ආකල්පය සමාජගත කිරීමය.

ලේ පිපාසයෙන් පෙළෙන මේ දඩ බල්ලන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය මෙයයි.
මුළු ලොවේම සිටිනා බිලියන 1.6ක් වන මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහම සේ සලකන්නේ බොකෝ හරාම් ත්‍රස්තයන් දකිනා ඉස්ලාම් දහමම නම් අද වන තෙක් ලොවක් ඉතිරිව තිබෙන්නේ කෙසේද යන පැනයයි.

ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහම වෙනුවෙන් යුධ ප්‍රකාශ කිරීම සේම ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහමට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමද එකසේම හානිකරය.

මොවුන්ට, තියෙනවාය කියනා ප්‍රශ්නයට ඔවුන් ඉදිරිපත් කරනා විසඳුම් මොනවා දැයි ඇසුවහොත් ඔවුන්ට දීමට පිළිතුරක් තබා අදහසක්වත් නොමැත.

එක්කෝ, සියලූම මුසල්මානුවන් සමූල ඝාතනය කල යුතුය.

එක්කෝ, සියලූම මුසල්මානුවන්ට දිගින් දිගටම තාඩන පීඩන කල යුතුය,

නැතහොත්, මුසල්මානුවන්ගේ ජනගහනය පරයන සේ තරඟයට ලමයි හැදිය යුතුය.

නැතහොත් මේ ප්‍රශ්නයට වෙනත් විසඳුමක් සෙවීම උදෙසා බුද්ධිමය කතිකාවතක් ඇතිකරගත යුතුය.

ඒ වෙනුවෙන් අප සහෝදර මුස්ලිම් ජනතාවගේ සහය ලබා ගත යුතුය. මුස්ලිම් පමණක් නොව කුමන වේශයෙන් ආවද අන්තවාදය හෙළා දැකිය යුතුය.

ඒ සඳහා අප කරා සංවාදයට, සාකච්ඡාවට, විචාරයට පැමිණෙන සහෝදර මුස්ලිම් ජනතාවගෙන් අවංක සංවාදයක එළඹෙනවා වෙනුවට "අල්ලා ඌරෝ මැව්වේ ඇයි" වැනි ප්‍රශ්න ඇසීමෙන් නම් පලක් නැත

8 comments:

  1. දැන් මේ ලිව්ව මහත්තය මේ ගැන සංවාදයකට ලෑස්තිද?

    ReplyDelete
  2. ඒක ඇත්ත එකම ගෙදර ඉන්න ගෑණීයි මිනිහයි අතරෙත් ප්‍රශ්ණ ඇතිවෙන කොට වෙනස්ම සමාජ ක්‍රමයන් අතරේ ප්‍රශ්ණ ඇතිවෙන එක නතර කරන එක කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්......

    වෙනස්කම පිලිගන්න ඒකට ගෞවරවය ලබා දෙන්න පුලුවන් මතවාදය ව්‍යප්තිය මේකට ඇති විසදුමයි.....සංවාදය, අධ්‍යාපනය මේ සදහා ඇහි ටූල්ස් කියලා කියන්න පුලුවන් හිටං

    ReplyDelete
  3. මේ මහත්තය සංවාදයට ලෑස්ති නෑ වගේ

    ReplyDelete
  4. සංවාද කරන්න මෙතනට එන්න..
    https://www.facebook.com/groups/321407341332387/

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  5. //ලේ පිපාසයෙන් පෙළෙන මේ දඩ බල්ලන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය මෙයයි.
    මුළු ලොවේම සිටිනා බිලියන 1.6ක් වන මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහම සේ සලකන්නේ බොකෝ හරාම් ත්‍රස්තයන් දකිනා ඉස්ලාම් දහමම නම් අද වන තෙක් ලොවක් ඉතිරිව තිබෙන්නේ කෙසේද යන පැනයයි//

    ඔය ප්‍රශ්නය එලියට ගේන කලින් ඔයාම හිතලා බලන්න

    ReplyDelete
    Replies
    1. හිතල තමයි මචන් පෝස්ට් ලියන්නෙ. උඹට පෝස්ට් එකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න තියෙනව නම් අහපන්

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...