Tuesday, August 9, 2016

එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න !

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින් දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

2 comments:

  1. කතාකරලා වැඩක් නැත.

    ReplyDelete
  2. සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන. ////// ++++++

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...